HIV පූර්ව රෝග නිවාරණය (PreP) සහ පසු රෝග නිවාරණය (PEP) - HIV අසාදනය සඳහා අලුත් ආරක්ෂාවක්! | The Family Planning Association of Sri Lanka

HIV පූර්ව රෝග නිවාරණය (PreP) සහ පසු රෝග නිවාරණය (PEP) - HIV අසාදනය සඳහා අලුත් ආරක්ෂාවක්!

පසුගිය 2024 වසර හා සසඳන විට නව HIV (මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය) රෝගීන්ගේ සැලකියයුතු වැඩිවීමක් දක්නට ලැබේ. වසංගත තත්වයක් වශයෙන් සලකා බැලීමේදී ශ්‍රී ලංකාව HIV සම්බන්ධව ඉතා අවම අගයක් පෙන්වන අතර සම්පුර්ණ ජනගහනයෙන් 1% කට වඩා අඩු පිරිසක් වෛරසයට ගොදුරුවී ඇත. කෙසේ වෙතත්, වසරේ දෙවන කාර්තුවේදී පමණක් එනම් 2024 අප්‍රේල් සිට ජූනි දක්වා HIV ආසාදිතයන් 214ක් වාර්තා වී ඇති අතර ඉන් 28ක් වයස අවුරුදු 15ත් 24ත් අතර පිරිමි පුද්ගලයන් වේ.

HIV ප්‍රධාන වශයෙන් අනාරක්ෂිත ලිංගික සංසර්ගය හරහා සම්ප්‍රේෂණය වන අතර ගර්භණී සමයේදී සහ දරු ප්‍රසූතියේදී මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වේ. එසේම, භාවිතා කළ ඉඳිකටු හුවමාරු කරගැනීමෙන්ද සම්ප්‍රේෂණය වීමේ හැකියාව පවතියි. මෙම වෛරසය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් කරන අතර ප්‍රතිකාර නොකළහොත් සාමාන්‍යයෙන් වසර 10කට 15කට පසු ඒඩ්ස් වර්ධනය වීමට හේතු විය හැකිය. ඒඩ්ස් වැළඳීමෙන් පසුව ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉතා දුර්වලවන අතර දරුණු ආසාදන හා පිළිකා ඇතිවීමේ අවදානමක් ඇත.

HIV යනු සුවකළ නොහැකි අසාදන තත්වයක් වන නමුත් ඵලදායී ප්‍රතිකාර ක්‍රම හරහා HIV ආසාදිත පුද්ගලයන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය. මීට අමතරව, HIV වැළඳීමේ ඉහළ අවදානමක් ඇති පුද්ගලයින්ට සහ වෛරසයට නිරාවරණය වී ඇති පුද්ගලයින්ට HIV ආසාදනය වැලැක්වීම සඳහා දැන් නව ඵලදායී ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දී තිබේ.

පූර්ව රෝග නිවාරණය (Pre-exposure prophylaxis) PrEP යනුවෙන් හඳුන්වන අතර HIV අසාදනයවී නොමැති හෝ HIV අසදනයවිම සඳහා වැඩි අවදානමක් සහිත පුද්ගලයන් සඳහා ඉතා ආරක්ෂිත සහ ඉතා ඵලදායී රෝග වැළැක්වීමේ උපාය මාර්ගයකි. මෙම ප්‍රතිකාරය ලිංගිකව එක්වීමට පෙර සහ පසු යන අවස්ථා දෙකේදීම දිනපතා හෝ අවශ්‍ය පරිදි ලබාගත යුතුය. එසේම, මෙම ප්‍රතිකාරය ලබාගැනීමට පෙර ඖෂධ ලබාගත යුතු ආකාරය සහ පසු විපරම් කිරීම පිළිබඳව වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් වේ.

පශ්චාත් (පසු) රෝග නිවාරණය PEP යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම ක්‍රමවේදය HIV අසාදනය වී නොමැති නමුත් වෛරසයට නිරාවරණය වී ඇති පුද්ගලයින් සඳහා ආසාදනයවීම වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ඉහළ ඵලදායී වැළැක්වීමේ උපාය මාර්ගයක් වශයෙන් හඳුන්වා දිය හැකිය. HIV ආසාදනය වළක්වා ගැනීම සඳහා ලිංගික එක්විමකට නිරාවරණය වීමෙන් පැය 72ක් ඇතුළත මෙම ප්‍රතිකාරය ලබාගත යුතු අතර දින 28ක් දක්වා අඛණ්ඩව ලබාගත යුතුවේ. මෙසේ නිරාවරණයවීම සලකා බැලීමේදී ලිංගිකව එක්වීමේදී කොන්ඩම් කැඩී යාම, වැඩ කරන අතරතුරදී ඉඳිකටුවලින් ඇතිවිය හැකි තුවාල, එන්නත් කිරීමට භාවිතා කරන උපකරණ බෙදාගැනීම සහ ලිංගික අතවර කිරීම් ආදිය ඇතුළත් වේ. එසේම, ඖෂධ භාවිතා කරන ආකාරය සහ අවශ්‍ය පසු විපරම් ක්‍රියාවලිය පිළිබඳව අවබෝධ කරගැනීම සඳහා වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම වැදගත් වේ.

HIV වලින් ආරක්ෂාවීමට PrEP සහ PEP නිවැරදිව ඉටු කිරීම සහ මතක තබා ගැනීම ඉතා ඵලදායී වන නමුත් මෙම ක්‍රමවේද හරහා අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් (STIs) ආරක්ෂා නොවන බව මතක තබා ගැනීම වැදගත්ය. වෙනත් ලිංගිකව අසාදනය වන රෝග වැළඳීමේ අවදානම අවම කිරීමට ඇති එකම ඵලදායී ක්‍රමය වන්නේ කොන්ඩම් භාවිතයයි.

ශ්‍රී ලංකාවේ PEP සහ PrEP පිළිබඳව තොරතුරු ලබා ගන්නේ කෙසේද?

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහන (NSACP) - අංක 29, ද සේරම් පෙදෙස, කොළඹ 10. දුරකථන අංකය: 0112667163

දිවයින පුරා ඇති ලිංගාශ්‍රිත රෝග සායන 41න් ඕනෑම සායනයක් සඳහා ඔබට සම්බන්ධ විය හැකිය. (ළගම ඇති සායනය සොයාගැනීම සඳහා www.know4sure.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

PEP සහ PrEP සඳහා පිළිබඳ වැඩි විස්තර www.know4sure.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2025 | Family Planning Association All Rights Reserved
As Imagined By