ගැබ්ගෙල පිළිකා සඳහා පරීක්ෂාව | The Family Planning Association of Sri Lanka

ගැබ්ගෙල පිළිකා සඳහා පරීක්ෂාව

ශ්‍රී ලංකාවේ අප විසින් දැනට පිළිකා පූර්ව තුවාල හඳුනා ගැනීම සඳහා පැප් ස්මියර් පරීක්ෂණයක් භාවිතා කරනු ලැබේ.

  • පැප් ස්මියර් පරීක්ෂාව කිරීමට ප්‍රථම වෛද්‍යවරයා විසින්, ඔබ ඇඳ සිටින ඔබගේ ඉණෙන් පහළ ඇඳුම් ගලවන ලෙස ඉල්ලා සිටිනු ඇත. (ඔබේ යට ඇඳුම්ද ඉවත් කල යුතුවේ.) ඉන්පසුව ඔබ මත රෙදි ආවරණයක් දමනු ඇත.

  • එවිට වෛද්‍යවරයා ඔබෙන්, ඔබගේ දණහිස් නැමීමටත්, ඔබේ විලුඹ තට්ටම වෙත ගෙනැවිත් ඔබේ දණහිස් දෙපැත්තට විහිදුවන ලෙසත් ඉල්ලා සිටිනු ඇත.

  • වෛද්‍යවරයා ප්‍රථමයෙන් ඔබගේ යෝනි මාර්ගය (යෝනිමුඛය) පිටත කිසියම් අසාමාන්‍යතා ඇත්දැයි පරීක්ෂා කර බලනු ඇත. 

  • එවිට ඔවුන් ඔබේ ගැබ්ගෙල හොදින් දෘශ්‍යමාන කර ගැනීම සඳහා සුමට, නලයක හැඩැති ලෝහ මෙවලමක් (ස්පෙකියුලමය) යෝනි මාර්ගයට මෘදු ලෙස ඇතුල් කරනු ඇත. (මේ සදහා විනාඩියක් හෝ විනාඩියකට වඩා ටිකක් වැඩි කාලයක් පමණක් ගත වනු ඇත.)

  • ගැබ්ගෙල දර්ශනය වූ පසු, කුඩා ස්පැටුලා (spatula) එකක් භාවිතයෙන් ඔබේ ගැබ්ගෙලෙන් කුඩා සෛල සාම්පලයක් ගනු ලැබේ.

  • fpa

මෙම ක්‍රියාපටිපාටිය කිසිවිටෙකත් වේදනාකාරී නොවේ. නමුත් ඔබට මෘදු අපහසුතාවයක් අත්විදීමට සිදුවිය හැකිය. එයට ගතවන්නේ මිනිත්තු 5-10 ක් පමණි. නමුත් වෛද්‍යවරයා ඔබ කැමති වේගයකින් ඔබේ පහසුව පරිදි ක්‍රියා පටිපාටිය සිදු කරනු ඇත.

ඉන්පසුව වෛද්‍යවරයා, යම් අසාමාන්‍යතා ඇත්දැයි දැනීම සඳහා ඔබේ උදරය මත තද කරමින්, ඇඟිලි දෙකක් යෝනි මාර්ගයට මෘදු ලෙස ඇතුල් කරනු ඇත.

පැප් ස්මියර් පරීක්ෂාවේ ප්‍රතිඵල සඳහා සති 3-4ක් ගත වන අතර ප්‍රතිඵල සූදානම් වූ විට ඔබට දැනුම් දෙනු ඇත.

පැප් පරීක්ෂණයක් සඳහා නිසි අයුරින් සූදානම් වන්නේ කෙසේද?

  1. ඔබේ පරීක්ෂණ දිනයට පැය 24කට පෙර ලිංගික සංසර්ගයේ නොයෙදිය යුතුයි.

  2. ඔබේ පරීක්ෂණ දිනයට දින 2-3 කට පෙර සිට යෝනි මාර්ගය ඇතුළත වෙනත් දියර මිශ්‍රණවලින් සෝදා පිරිසිදු කිරීම නොකළ යුතු අතර යෝනි ක්‍රීම්, ශුක්‍රාණු නාශක, ලිහිසි තෙල් හෝ යෝනි ස්ත්‍රී සේදුම් භාවිතා නොකරන්න.

  3. ඔසප් සමයේදී, ගර්භණී සමයේදී සහ දරු ප්‍රසූතියෙන් සති 12ට අඩු නම් පැප් පරීක්ෂණයක් සිදු නොකිරීම වඩාත් සුදුසුය.

 

පැප් පරීක්ෂණය සිදුකල යුතු  වාර ගණන

දැනට ශ්‍රී ලංකාවේ පැප් පරීක්ෂණය සිදු වන්නේ වයස අවුරුදු 35 සහ 45 දී පමණි. කෙසේ වෙතත්, ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ සම්භාවිතාව ඉහළ යාමත් සමඟ, කාන්තාවන්ට ඔවුන්ගේ පළමු ලිංගික සංසර්ගයේ සිට වසර 3 සිට 5 දක්වා ගැබ්ගෙල ස්මියර් පරීක්ෂාව ලබා ගත හැකිය.

මෙයට අමතරව  කුමක් කළ හැකිද?

රාජ්‍ය අංශයේ MOH සායන මගින් ලබා දෙන HPV එන්නත ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ සියලුම පාසල් යන ගැහැණු ළමයින් (අවුරුදු 10 සිට 11 දක්වා) දිරිමත් කල හැක. වැඩිහිටි කාන්තාවන්ට HPV එන්නත පුද්ගලික අංශයේ රෝහලකින් ලබා ගත හැක.

විමර්ශන මුලාශ්‍ර

  1. National Guideline on Early Detection and Referral pathways of common cancers in Sri Lanka for Primary Care Physicians (2020) National Cancer Control Programme, Ministry of Health & Indigenous Medical Services, Sri Lanka.

  2. Kandanearachchi P et al. Guidance for cervical screening and management in Sri Lankan health care system. Sri Lanka Journal of Obstetrics and Gynaecology 2021; 43: 245-258.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By