රෝග ලක්ෂණ නොමැතිව වුවද ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන ඔබට වැළඳිය හැකිද? | The Family Planning Association of Sri Lanka

රෝග ලක්ෂණ නොමැතිව වුවද ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන ඔබට වැළඳිය හැකිද?

ප්‍රශ්නය: රෝග ලක්ෂණ කිසිවක් නොමැතිව ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැළඳීමට ඉඩකඩ පවතීද?

පිළිතුර: ඔව්. විශේෂයෙන්ම මුල් අවධියේදී කිසිදු බාහිර ලක්ෂණයක් නොපෙන්වා ශරීරය තුළ පැවතීමට ලිංගිකව සම්ප්‍රේෂණය වන බොහෝ ආසාදනවලට හැකියාව ඇත.

ප්‍රශ්නය: රෝග ලක්ෂණ නොපෙන්වන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන මොනවාද?

පිළිතුර: මේ සඳහා පොදු උදාහරණ කිහිපයක් පහත දැක්වේ:

  • ක්ලැමීඩියා (Chlamydia)

  • ගොනෝරියා (Gonorrhoea)

  • එච්.අයි.වී (HIV - මුල් අවධිය)

  • හියුමන් පැපිලෝමා වයිරසය (HPV)

ප්‍රශ්නය: රෝග ලක්ෂණ නොමැති වුවද, එම තත්ත්වය අනතුරුදායකද?

පිළිතුර: ඔව්. රෝග ලක්ෂණ නොමැති වුවත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සඳහා නිසි ප්‍රතිකාර නොගැනීම හේතුවෙන් පහත සඳහන් සංකූලතා ඇති විය හැකිය.

  • මදසරුභාවය (දරුවන් නොමැති වීම)

  • නිදන්ගත රෝග නිසා ඇතිවන වේදනාවන්

  • ගර්භණී සමයේ ඇති වන සංකූලතා

  • එච්.අයි.වී (HIV) සම්ප්‍රේෂණය වීමේ අවදානම ඉහළ යාම

ප්‍රශ්නය: එසේ නම්, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් මට වැළඳී ඇත්දැයි දැන ගන්නේ කෙසේද?

පිළිතුර: ඒ සඳහා ඇති එකම විශ්වාසදායක ක්‍රමය වන්නේ සුදුසුකම් ලත් සෞඛ්‍ය මධ්‍යස්ථානයකින් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයකට (STI testing) භාජනය වීම පමණි.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට අප අමතන්න: 077 955 2979

ප්‍රශ්නය: මා කොපමණ වාරයක් පරීක්ෂණවලට භාජනය විය යුතුද?

පිළිතුර: එය ඔබගේ ලිංගික ක්‍රියාකාරකම්වල ස්වභාවය මත රඳා පවතින අතර පහත අවස්ථාවලදී පරීක්ෂණ සිදු කරගැනීම ඉතා වැදගත් වේ.

  • අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසුව

  • අලුත් සබඳතාවක් ආරම්භ කිරීමේදී

  • ඔබට ලිංගික සබඳතා පවත්වන සහකරුවන් කිහිපදෙනෙකු සිටී නම් නිරන්තරයෙන් පරීක්ෂණය සිදුකරගැනීම වැදගත් වේ.

ප්‍රශ්නය: ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලදී සැමවිටම රෝග ලක්ෂණ මතු නොවන්නේ ඇයි?

පිළිතුර: ඇතැම් ආසාදන ශරීරය තුළ වර්ධනය වන්නේ ඉතා සෙමිනි. එසේ නැතහොත් ඒවා මුලින්ම බලපාන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්වලටය . එබැවින් රෝගයේ වර්ධනීය අවධිය වන තුරු බාහිර රෝග ලක්ෂණ මතු නොවීමට ඉඩකඩ ඇත.

ප්‍රශ්නය: මතක තබා ගත යුතු වැදගත්ම කරුණ කුමක්ද?

පිළිතුර: "රෝග ලක්ෂණ නොමැති වීම යනු ආසාදනයක් නොමැති වීම නොවේ." ඒ පිළිබඳව ස්ථිරවම දැන ගැනීමටත්, ඔබගේ මෙන්ම ඔබගේ සහකරුගේ හෝ සහකාරියගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමටත් ඇති එකම මාර්ගය නිවැරදි වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීම පමණි.

 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2026 | Family Planning Association All Rights Reserved
As Imagined By