ඕනෑම සම්බන්ධතාවයක කැමැත්ත යනු වැදගත් කොටසකි. විශේෂයෙන් ලිංගික එක්විමකදී එය ඉතා වැදගත් වේ. මෙහිදී කැමැත්ත යනු ලිංගික එක්වීමක් සඳහා සම්බන්ධවන සියලුමදෙනා එකිනෙකාගේ හැඟීම් සහ පුද්ගලික සීමාවන්ට ගරු කරන බවට සහතික කිරීමයි.
"FRIES" යන කෙටි යෙදුම කැමැත්තේ සියලුම අංශ මතක තබාගැනීමට සහය වේ.
F – Freely (නිදහස)
මෙහිදී කැමැත්ත නිදහසේ ස්වේච්ඡාවෙන් ලබා දියයුතු අතර එය කිසිදු බලපෑමකින්, පීඩනයකින් තොර විය යුතුය.
R – Reversible (ආපසු හැරවිය හැකිය)
මෙයින් අදහස් කරන්නේ ලිංගික එක්වීමක සිටින අවස්ථාවකදී පවා කැමැත්ත ආපසු හැරවීමට හැකි බවයි
I – informed (දැනුවත්බව)
ලිංගික එක්වීමක් සඳහා කැමැත්ත ලබාදෙන පුද්ගලයා එම ක්‍රියාවලියේදී සිදුවන සෑම දෙයක් පිළිබඳව දැනුවත් භාවයෙකින් තීරණ ගත හැකි බව මෙයින් සඳහන් කරයි.
E – Enthusiastic (උද්යෝගිමත්)
ලිංගික එක්විමකට සහභාගිවන පුද්ගලයා ඒ සඳහා කැමැත්තෙන් සහභාගිවන බවත් ඒ සඳහා පීඩනයක් නොමැති බවත් සහතික කිරීමට උද්යෝගිමත් වේ.
S – Specific (නිශ්චිතබව)
ලිංගික එක්වීමට සහභාගිවන සියලුම දෙනා ඔවුන් එකඟවී ඇති දේ පිළිබඳව නිශ්චිතවම දන්නා බව මෙයින් අදහස් කරයි.
කැමැත්ත ලබා ගැනීමට අපොහොසත් වීම එනම් එකඟතාවයකින් තොරව ලිංගික ක්‍රියාකාරකමකට සහභාගීවීම ලිංගික අතවරයක් විය හැකි අතර නීතිමය ගැටළු ඇති කරයි.
ලිංගික කැමැත්ත ලබාදීම සම්බන්ධ විශේෂ අවස්ථා
ලිංගික එක්වීමට සහභාගිවන පුද්ගලයා වයස අවුරුදු 16ට අඩු නම්
ශ්‍රී ලංකාව තුළ ගැහැණු දරුවෙකුට ලිංගිකව එක්වීමේ නීත්‍යනුකුල වයස අවුරුදු 16 වේ. වයස අවුරුදු 16 ට අඩු ගැහැණු දරුවෙකු සමඟ ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගිකව එක්වීම ස්ත්‍රී දුෂණයක් වන අතර නීතිමය ගැටලුවලට මුහුණ දීමටද සිදුවේ. එසේම, වයස අවුරුදු 16ට අඩු දරුවන් ලිංගික එක්වීමක් සඳහා කැමැත්ත ලබාදීමට හෝ ඒ පිළිබඳව තීරණය කිරීම සඳහා පරිණත නොවේ.
මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර ඒවායේ බලපෑම පවතින අවස්ථාවලදී
මත්පැන් සහ/හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ට කුමන හෝ ක්‍රියාවකට දැනුවත් භාවයෙන් යුතුව කැමැත්තක් ලබා දීමට නොහැකි වන අතර මත්පැන් සහ/හෝ මත්ද්‍රව්‍ය භාවිතාකර සිටින පුද්ගලයෙක් සමග ලිංගිකව එක්වීම සෑමවිටම එකඟතාවයෙන් තොර වේ. මේ සඳහා මත්පැන් සහ/හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා මද සිහියෙන් සිටින පුද්ගලයන්ද පියවි සිහියෙන් තොර පුද්ගලයන්ද අයත්වේ.
බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයින්
බුද්ධිමය අබාධ සහිත පුද්ගලයන් හට ආරක්‍ෂිත සහ එකඟතාවයෙන් යුතුව ලිංගිකව එක්වීමේ අවස්ථාව පවතියි. නමුත් සෑම විටම ලිංගික ක්‍රියාකාරකම්වල සියලු ආකාරයන් පිළිබඳව දැනුවත්භාවයකින් තීරණ ගැනීමේ හැකියාවක් ඔවුන්ට නොතිබිය හැකිය. කැමැත්ත ලබා ගැනීමේදී එය පුද්ගලයාගේ තේරුම් ගැනීමේ හැකියාව මත තනි තනිව සිදු කළ යුතු අතර බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ට තේරුම්ගත හැකි භාෂාවක් භාවිතා කරමින් සාකච්ඡා කළ යුතුය.
ලිංගික දර්ශන සහිත වීඩියෝ සහ ඡායාරූප බෙදාහැරීම
සමාජ මාධ්‍ය භාවිතයේදී සහ ඩිජිටල් මාධ්‍ය අවකාශයේදී එකඟතාවය අතිශය වැදගත්වේ. අවසරයකින් තොරව ලිංගික එක්වීමේ ඡායාරූප බෙදාගැනීම, බෙදාහැරීම නීති විරෝධී වන අතර එය ලිංගික අතවරයක් වශයෙන් සලකනු ලැබේ.
වංචා කිරීම
ලිංගික එක්වීමට සහභාගිවන පුද්ගලයා කොන්ඩම් භාවිතා කර ලිංගික එක්විමකට කැමැත්ත පලකර ඇති අවස්ථාවකදී අනෙක් පුද්ගලයා ඔහුට/ඇයට නොදන්වා කොන්ඩම් භාවිතා නොකර සිටීම හෝ අනුදැනුමකින් තොරව එය ඉවත් කිරීම මෙහිදී වංචා කිරීම යනුවෙන් අදහස් කරයි.
සෞඛ්‍ය සම්පන්න ලිංගික සබඳතාවයක් සඳහා "කැමැත්ත" අත්‍යවශ්‍ය අංගයක් වන අතර දිගු කාලින සබඳතාවලදී පවා පුරුද්දක් වශයෙන් පවත්වාගෙන යාම තුළ සියලුදෙනාටම ආරක්ෂිත බව සහ ඔවුන්ගේ සීමාවන්ට ගරු කිරීම පිළිබඳව සහතික කරයි.