මේ මාසයේදී ඔබගේ පියයුරු පරික්ෂාව සිදු කරගත්තාද? | The Family Planning Association of Sri Lanka

මේ මාසයේදී ඔබගේ පියයුරු පරික්ෂාව සිදු කරගත්තාද?

පියයුරු පිළිකා යනු ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය වශයෙන් කාන්තාවන්ට බලපාන වඩාත් සුලභ පිළිකා විශේෂයෙකි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය (2024) ඉතා මෑතකදී අනාවරණය කරගෙන ඇත්තේ දිනකට ආසන්න වශයෙන් කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වන අතර දිනකට කාන්තාවන් 3 දෙනෙකු මෙම රෝගයෙන් මිය යන බවයි. තවද, ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බැවින් වසරකට කාන්තාවන් 3000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගැනේ. පියයුරු පිළිකාව ඉක්මනින් හඳුනාගැනීම තුළින් ප්‍රතිකාර කිරීම පහසු වන අතර සුවකරගැනීමේ හැකියාව පවතියි.

පියයුරු පිළිකාව ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට ඇතිවන තත්වයක් වන අතර වයසට යාමත් සමඟ විශේෂයෙන් වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන් සඳහා මෙහි අවදානම වැඩි වේ. කෙසේ වෙතත්, පියයුරු පිළිකා තරුණ කාන්තාවන්ට සහ පිරිමින්ට ද ඇති විය හැක.

පියයුරු පිළිකා සඳහා හේතු වියහැකි අවදානම් තත්වයන්:

  • පළමු ඔසප්වීමේ වයස (පළමු ඔසප් වීමේදී වයස)

  • ප්‍රමාද වී ඔසප් නතරවීම (ඔසප් වීම නතර වන වයස)

  • දරුවන් නොමැති වීම

  • දරුවන්ට මව්කිරි නොදීම

  • තරබාරුකම

  • දුම්පානය සහ මත්පැන් පානය

  • උදාසීන ජීවන රටාව

  • පපුව ආශ්‍රිත ප්‍රදේශයට සිදුකරන විකිරණ ප්‍රතිකාර

  • ඇතැම් පෙළපත් තත්වයන් (අක්ෂේනාසි යුදෙව්වන් - නැගෙනහිර යුරෝපීය සම්භවයක් ඇති යුදෙව් ජනතාව තුළ පියයුරු පිළිකා සඳහා බලපාන ප්‍රවේණිගත ජාන විකෘති තත්වයන් පවතින බවට සොයාගෙන ඇත)

  • ජානමය තත්වයන්

  • ඇතැම් හෝමෝනමය ඖෂධ භාවිතය


පහත දක්වා ඇති රෝග ලක්ෂණ/සලකුණු මගින් පියයුරු පිළිකා තත්වයක් පවතින බව පෙන්නුම් කළ හැකි අතර වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍යවරයෙක් වෙත යොමුවිය යුතුය.

  • පියයුරු මත ඇතිවන ගැටිත්ත හෝ ඝන බව

  • කිහිල්ලේ ගැටිති වැනි තත්වයන් ඇතිවීම

  • පියයුරු මතුපිට සමෙහි උණුසුම් බව හෝ රතු පැහැයක් ගැනීම

  • පියයුරු මත තැඹිලි පැහැයට හුරු තරමක් රළු මතුපිටක් ඇතිවීම

  • පියයුරු මතුපිට සම දොඩම් ගෙඩියක පොත්තක් වැනි ස්වභාවයක් ගැනීම සහ තනපුඩුව ඇතුළට ගිලී පැවතීම

  • තන පුඩුවෙන් දියරයන් පිටවීම

  • තනපුඩුව වටා තුවාලයක් සුවවූ පසුව ඇතිවන කබොලක් වැනි තත්වයක් ඇතිවීම

  • පියයුරුවල නව හැඩයක් හෝ ප්‍රමාණයක් ඇතිවීම

  • පියයුරුවල කලාතුරකින් ඇතිවන වේදනාව

  • පියයුරුවල තුවාල ඇතිවීම


පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම සඳහා පියයුරු පිළිකා පරීක්ෂාව අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර එය පියවර 3 කින් සමන්විත වේ.

  1. ස්වයං පියයුරු පරික්ෂාව

  2. සායනික පියයුරු පරික්ෂාව

  3. අල්ට්රා සවුන්ඩ් සහ/හෝ මැමෝග්රෑම් පරික්ෂාව (මෙම පරීක්ෂාවන් ඔබට සායනිකව නිර්දේශකර ඇත්නම් හෝ වයස අවුරුදු 40ට වඩා වැඩි කාන්තාවන් සඳහා සිදුකරගත හැකිය)

වයස අවුරුදු 20 ට වැඩි සියලුම කාන්තාවන් සඳහා සෑම මසකම ස්වයං පියයුරු පරික්ෂාවක් සිදු කිරීම නිර්දේශ කරන අතර එය මාසික ඔසප්වීම අවසන්වී දින 3ත් 5ත් අතරදී සිදුකිරීම වඩාත් සුදුසු වේ. ඔසප් වීම සිදු නොවන්නේ නම්, මසකට වරක් පහසු වේලාවක, නිදසුනක් වශයෙන් සෑම මසකම පළමුදින ඔබේ පියයුරු පරීක්ෂා කරන්න. අතේ ඇඟිලි භාවිතා කරමින් බෙල්ලේ ඉදිරිපස කොටසේ සිට පහලට ඇතුළුව සම්පුර්ණ පියයුර වරකට එක පියයුරක් වශයෙන් හොඳින් පරික්ෂා කළ යුතුය. මිට අමතරව, කිහිලි ප්‍රදේශයද පරික්ෂා කලයුතු අතර තන පුඩුව සෙමෙන් මිරිකා එයින් යම් දියරයක් පිටවනවා ද යන්න තක්සේරු කරගත යුතුය. ස්වයං පියයුරු පරීක්‍ෂණයක නිශ්චිත පියවර මෙහි ඇති සබැඳිය හරහා සොයාගත හැකිය. (Add your link here)

වයස අවුරුදු 20ත් 40ත් අතර කාන්තාවන් සෑම වසර 2කට හෝ 3කට වරක් සහ වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් වාර්ෂිකව සායනික පියයුරු පරීක්ෂණයක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හරහා සිදුකරගැනීම වැදගත් වේ.

පියයුරු පරික්ෂාවේදී කිසියම් ගැටිත්තක් හමු වුවහොත් අල්ට්‍රා සවුන්ඩ් සහ/හෝ මැමෝග්‍රැම් පරීක්ෂණ සිදු කරනු ලැබේ. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් යනු වේදනාකාරී නොවන ස්කෑන් පරීක්ෂණයක් වන අතර ඒ සඳහා විශේෂ සුදානමක් අවශ්‍ය නොවේ. එසේම, ඒ හරහා පියයුරු පටක පිලිබඳ පැහැදිලි රූපයක් ලබාදෙයි. මැමෝග්‍රැම් පරික්ෂාව යනු පියයුරු ව්‍යුහය පිළිබඳ වඩාත් සංකීර්ණ රූපයක් ලබා ගැනීම සඳහා භාවිතා කරන අඩු විකිරණ මාත්‍රාවක් යටතේ සිදු කරන පරික්ෂාවකි. මේ හරහා පියයුරුවල පවතින නොපෙනෙන තුවාල පවා හඳුනා ගැනීමට හැකි වේ. මැමෝග්‍රැම් පරික්ෂාව ඉතා වැදගත්වන අතර වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් සඳහා සෑම වසර 2කට හෝ 3කට වරක් කට වරක් සිදුකරගත යුතුය.

ශ්‍රී ලංකාවේ රජයට අයත් පිළිකා හඳුනාගැනීමේ මධ්‍යස්ථානවල සහ තෘතීයික මට්ටමේ රෝහල්වල මැමෝග්‍රැම් පරීක්‍ෂාව නොමිලයේ සිදු කෙරෙන අතර පෞද්ගලික රෝහල්වලද යම්කිසි මුදලක් ගෙවා මෙම සේවාව ලබාගත හැකිය.

පියයුරු පිළිකා ප්‍රතිකාර ක්‍රමවල ඇතිවී ඇති සැලකියයුතු දියුණුවත් සමග මෙම තත්වයන් කල් ඇතිව හඳුනාගැනීමෙන් එහි සංකීර්ණ බව නොසලකා සුවකරගැනීමේ හැකියාව පවතියි. එබැවින්, පියයුරු පිළිකා පරීක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදියයුතු අතර තමන්ගේ ආදරණියයන් අතර මේ පිළිබඳව තොරතුරු ප්‍රවර්ධනය කිරීම හා පරීක්ෂාවන්වලට යොමු කිරීම අතිශය වැදගත් වේ.

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2025 | Family Planning Association All Rights Reserved
As Imagined By